June 30, 2014

ෆේස් බුක් මිනී මරනවා ද?




තම තොරතුරු සහ ඡායාරූප ෆේස් බුක් මගින් මිතුරු මිතුරියන් ද දැන ගැනීමට සහ දැක ගැනීමට සැලැස්වීම ආරම්භයේ දී හුදෙකලාව නැති කර ගැනීමට සහ සමාජ සම්බන්ධතා පැවැත්වීමට රුකුලක් වුව ද ක්‍රමයෙන් එය විලාසිතාවක් විය. තමා කියවන පොත, අඳින ඇඳුම පමණක් නොව කන ආහාර පවා ඡායාරූප ගත කර ෆේස් බුක් පිටුවට යොමු කරන අයද සිටින බව පුදුමයට කරුණක් නොවන්නේ ය.ශ්‍රී ලංකාවේ ෆේස් බුක් භාවිතය එසේ වන විට නොවැළැක්විය හැකි ලෙස අපරාධ ද ඒ සමගින්ම වාර්තා වීම ඇරඹෙන්නේ ය. මීට පෙර කොළඹින් බැහැර ප්‍රදේශයක එක් දරු මවක් සිය දිවි හානි කර ගන්නේ ෆේස් බුක් හේතුවෙන් ගොඩ නැඟුණු අනියම් සම්බන්ධයක් සැමියාට හසු වී ඒ සමග ඇති වූ ගැටුම් හේතුවෙනි. මීළඟ බිල්ල වූයේ කුරුණෑගල වෙනුෂා ය.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ෆේස් බුක් ප්‍රකාශයත් සමග සමාජ ජාලය අප සමාජය භාවිත කරන අන්දම නැවත කියවිය යුතුව ඇතැයි සිතේ. සැබවින් ම ෆේස් බුක් ඔය කියන තරම් භයානක වන්නේ ද? පිළිතුර ලෙස කිව යුතු වන්නේ නැත කියා ය.ගැටලුව ඇත්තේ එය භාවිත කරන අන්දම සම්බන්ධයෙනි. අප වෙසෙන්නේ ඌණ සංවර්ධිත සමාජයක ය. බටහිර රටවල් තරමට අපේ ආර්ථීකය හෝ සමාජය සංවර්ධන වී නැත. එබැවින් අප සැමදා කළේ බටහිරින් ඇරැඹී ලෝකය පුරා ව්‍යාප්ත වන බොහෝ දේ ඌණ ලෙස භාවිතා කිරීම පමණක්මය. ඒවායේ හර පද්ධතීන් හෝ අපේ ම සංවර්ධනය සඳහා යොදා ගත හැකි යහ ලක්ෂණ හෝ අප භාවිතා කරන්නේ අවමයෙනි. නැතහොත් භාවිතා කරන්නේ ම නැත.විනාඩි කිහිපයක් ෆේසු බුක් හි සැරිසැරීමෙන් ලබා ගත හැකි දැනුම විශාලය. ඒ අතර ඇතැමුන්ගේ චරිත ලක්ෂණ ද ‍හොඳින් තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ ය. වැඩි දෙනෙක් තම ෆේස් බුක් පිටුව භාවිතා කරන්නේ තමාවම උඩ දමා ගැනීමට ය. පිටුවේ මුලටම යොදන තම ඡායාරූපය හැබෑ ස්වරූපයට වඩා හාත්පසින් ම සුන්දර ය.ඇතැමුන් ෆේස් බුක් පිටුවට එක් නමකුත් භාවිතයට එක් නමකුත් යොදා ගන්නේ ඇතැම් දේ හෙළිදරව් වීම වැළැක්වීමටය. ඇතැමුන්ට ෆේස් බුක් ගිණුම් රාශියකි. ඒ විවිධ නම්වලිනි. අරමුණූ විවිධ ය. සමාජයේ අප්‍රසිද්ධ මෙන්ම ප්‍රසිද්ධ බොහෝ දෙනා ෆේස් බුක් පිටුවේ අමුණන ඡායාරූප පෙන්වා දෙන්නේ ඔවුන්ගේ බොළඳකම් ය. නැතහොත් ඔවුන් පෙළන හුදෙකලාවයි. ප්‍රශංසාව පමණක් ඇසීමට දක්වන ලැදියාවයි‍.මේ අතර නිර්භය අදහස් දැක්වීම් පමණක් නොව ඉතාම නිර්මාණාත්මක නායක පාලක විවේචනද ෆේස් බුක් හි නැතුවා නොවේ. එය එක් අතකින් අතීතයේ අපේ ගැමියන් ගොයම් කපා පාගා ගත් පසු කමතේ ඉදිරිපත් කළ කෝලම් සිහි ගන්වන්නේ ය. එදා ඔවුහු විවේචනය කළ නොහැකි දේ හාස්‍යයට ලක් කිරීමෙන් විනෝද වූහ. අද ද ෆේස් බුක් එදා කමත මෙන් ක්‍රියා කරනු එහි පිටු අතර සැරසරමින් රස විඳිමින් වටහා ගත හැකි ය.
කුරුණෑගල වෙනුෂා සිදුවිම ගැනද යමක් කිව යුතු ය. පාසල් දරුවන් අද ෆේස් බුක් ගිණූම් පවත්වාගෙන යනු අරුමයක් නොවේ ය. පරිගණකය අද ගෘහස්ථ භාණ්ඩයකි. එහෙත් පාසල් දරුවන් පරිගණකය විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ දී මවුපියන්ගේ අවධානය නම් අත්‍යවශ්‍ය ය.අපේ ඉතා බහුතරයක් වැඩිහිටියන් අන්තර්ජාල සම්බන්ධය සහිත පරිගණයක් ඉදිරියේ හුදෙකලා වූ ගමන් ලිංගික දර්ශන සොයන බව රහසක් නොවේ. වැඩිහිටියන් ගේ චර්යාව එසේ නම් කුතුහලයෙන් පිරුණු ළමුන් ගැන කුමක් නම් කිය යුතු ද? අනික් අතට ෆේස් බුක් ගිණූමක් පැවතීම පාසල් වියේ දරුවන්ට එක් අතකින් කිසියම් සුදුසුකමක් සම්පූර්ණ කිරීමක් වැනිය. මම ෆේස් බුක් ඉන්නවා යැයි ආඩම්බරයෙන් පැවසීමට හැකිය. ‍ඒ සමගම කිව යුත්තේ අපේ බොහෝ වැඩිහි‍ටියන් ද තවමත් ඒ මට්ටමේ සිටින බවය.දරුවෝ ඉක්මනින් ම අන්තර්ජාලයේ ආකර්ෂණීය දේ ග්‍රහණය කර ගන්නෝ ය. එය දරුවන්ගේ හැටි ය. ඔවුන්ට දරුවන් යැයි කියන්නේ ඒ නිසාය. දරුවන් සිටින්නේ වැඩිහිටියන්ගේ මග පෙන්වීම යටතේ ය. ඔවුන්ට හරි වැරැද්ද කියා දීම වැඩිහිටියන්ගේ වගකිම ය. යුතුකමය.ආකර්ෂණීය දේ පමණක් නොව එතුළ ඇති හර පද්ධතීන් ද ග්‍රහණය කර ගනිමින් අන්තර්ජාලය භාවිත කිරීමට දරුවන් යොමු කිරීම වැඩිහිටියන් විසින් කළ යුතු ය. එහෙත් ගැටලුව ඇත්තේ අන්තර්ජාලය නිසි පරිදි භාවිතා කිරීමට අද වැඩිහිටියන් පවා දැනුම්වත් ද යන්නයි.කුරුණෑගල වෙනූෂා ද ෆේස් බුක් ගිණුමක් පවත්වාගෙන ගියා ය. ඒ සම්බන්ධව විදුහල්පතිට යම් යම් දේ ආරංචි විය. කණට වැටුණු දේ හරි වැරැද්ද සොයා බැලීමකින් තොරව දරුණූ වචන යොදමින් ඔහු වෙනූෂාට බැණ වැදුණේ ය. වෙනූෂා අවසන් වශයෙන් ලියා තිබූ දේඅනුව විදුහල්පති ඇයට බැණ වැදිමට භාවිතා කළ වචන ඉතා බැරෑරුම් ය.පාසල් දරුවකුට නොව පොදුවේ කාන්තාවකට කළ හැකි උපරිම අපහාසය එහි අඩංගු ය. විදුහල්පති නියම වැඩිහිටියකු ලෙස ක්‍රියා කළේ නම් ඔහු කළ යුතුව තිබුණේ කණට වැටුණු දේ සත්‍ය දැයි තමා ම සොයා බැලීමය. නැතහොත් ‍වෙනූෂා ගේ ෆේස් බුක් ගිණූමට පිවිස ඇත්ත නැත්ත දැන ගැනීමය.එහෙත් ඔහු එසේ කළේ නැත. ඇතැම් විට විදුහල්පති අපේ බොහෝ වැඩිහිටියන් මෙන් ෆේස් බුක් පරිහරණය කිරීමට නොදන්නවා විය හැකිය. එසේ නම් එය වෙනූෂා ගේ නොව විදුහල්පතිගේ දැනුමේ අඩුවක් ය. එහි දී විදුහල්පති සිටින්නේ වෙනූෂාටත් පහළින් ය.වෙනූෂාගේ විදුහල්පති පමණක් නොව කණගාටුවට මෙන් අපේ බොහෝ විදුහල්පතිලා, ගුරුවරු මෙන්ම වැඩිහිටියෝ ද තාක්ෂණික දැනුම අතින් සිටින්නේ අපේ තරුණ පරම්පරාවට බොහෝ පිටුපසින් ය. එවැනි වැඩිහිටියන් සමග ගැටීමට වඩා සිය දිවි නසා ගැනීම හොඳ යැයි කෙනනෙකුට සිතෙන්නට වුව ද පුළුවන. කළ යුත්තේ වෙනූෂා වැනි දරුවන්ට හෝ ෆේස් බුක් සමාජ ජාලයට බැණ වැදීම නොව වැඩිහිටියන් තම අඩුව පුරවා ගැනීම ය


උපුටා ගැනීම    vidulafm.blogspot.com

No comments:

Post a Comment