November 13, 2014

ලග්නයේ සංකේතය මගින් පලාපල

ජ්‍යොතිෂ්‍යයේදී බොහෝ කාරණා ඉදිරිපත් කරන්නේ සංකේත ආශ්‍රයෙනි. පුද්ගලයකු පිළිබඳව හා ඔහුගේ වාසනාව අවාසනාව පිළිබඳව කරුණු දැක්වෙන, ලග්න ග්‍රහ තරු හා තාරකා පන්ති (නැකත්) සඳහා විවිධ සංකේත යොදාගෙන තිබේ.මේෂයෙන් ආරම්භ වී මීනයෙන් අවසන්වන රාශි හෙවත් ලග්න දොළහ සම්බන්ධව යොදාගෙන ඇති සංකේත පුද්ගලයකු පිළිබඳව පලාඵල පැවැසීමේදී විශේෂත්වයක් ගනී.
මේෂ ලග්නයට යොදා ඇති සංකේතය එළුවාය. එළුවකු තුළ පවතින ගති ලක්ෂණ හා චර්යා රටාවන් මේෂ ලග්නය හිමි අයෙකු තුළ ද පවතින බව දැක්වේ. එළුවා ක්‍රියාශීලී සතෙකි. මොහොතක් හෝ නිසලව සිටීමට අකමැතිය. කෙරෙන ඵලදායක වැඩක් නැතත් දැඟලීම අවශ්‍ය වේ. බොහෝ විට දුර දිග නොබලා ආවේගශීලීව කටයුතු කරන ගතියක්ද පවතී. මේෂයට අධිපති කුජ ග්‍රහයාගේ ගතියද මේ හැසිරීම් රටාවට හේතු වෙයි.
වෘෂභ ලග්නයට යොදා ඇති සංකේතය ගවයායි. ගවයා ආහාරයට මෙන්ම නිදා ගැනීමට ද වැඩි කැමැත්කක් දක්වයි. වෘෂභ ලග්න හිමියා ද මේ කාරණාවන්ට වැඩිඇල්මක් දක්වන බව සඳහන් වන්නේ එහෙයිනි. කම්මැලි අවස්ථාවල දැඩි කම්මැලියකු වන්නාක් මෙන්ම සිතට ගෙන වැඩ කරන විට
හොඳ වැඩකාරයෙකි. ඇතැම් කටයුතුවල දී කිසිදු විපරම් කිරීමකින් තොරව සිදුකිරීමට යාම නිසා අසීරු තත්ත්වයන්ටද මුහුණපෑමට සිදුවේ. හිත දැඩිය. අධිෂ්ඨානශීලීය. තනි මතයට වැඩ කටයුතු කරයි. ලග්නයට අධිපති සිකුරුගේ ලක්ෂණ ද මෙමගින් දැක්වේ.
මිථුන ලග්නයට යොදා ඇති සංකේතය එක්ව සිටින ස්ත්‍රී පුරුෂ යුගලයකි. වරින්වර වෙනස්වන පුරුෂ හා කාන්තා ගති ලක්ෂණ මෙමගින් නිරූපණය වෙයි. කතාබහට මෙන්ම විරුද්ධ ලිංගිකයන් ඇසුරටද වැඩි ප්‍රියමනාප භාවයක් දක්වයි. ලග්නයට අධිපති බුද වන නිසා ‍පොතපතට හා ලියකියවිලිවලට රුචියක් මෙන්ම  ගැතිකමක් ද දක්වයි. මිනිස් රාශියක් නිසා මානව දයාවෙන් හා සංවේදිතාවයෙන් පිරිපුන් අයෙක් ද වේ.
කටකය ලග්නය සඳහා යොදාගෙන ඇත්තේ කකුළුවායි. කකුළුවාගේ ගති ලක්ෂණ හා හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් කටක ලග්න හිමියෙකුගේ ස්වභාවය තේරුම් ගැනීමට පහසු වේ. ලග්නයට අධිපතියා සඳුය. එබැවින් අහිංසකය. එහෙත්, කෝපාවිෂ්ට වූ විට දැඩි ස්වරූපයක් ගනියි. සිතීමට
දක්ෂය. ක්‍රියාවේදී දක්ෂකම් ඉස්මතු වීම අඩුය. සමාජශීලීය. කතාබහට ප්‍රියය. අනුන්ට උපදෙස් දීමට සමතකු වුවත් තමා තුළ එම උපදෙස් ආකාරයට කටයුතු කිරීමේ අඩු බවක් පවතී. සෞම්‍යයයි.
සිංහයේ සංකේතය සිංහයායි. ව්‍යවහාරයට අනුව සිංහයා කැලයේ රජුය. සිංහයට අධිපති රවි හෙවත් සූර්යයායි. නොනැවෙන ගතියක් හා අභිමානයක් පවතී. පාලනයට දක්ෂය, කාර්යශූරය. තමාට පහර වැදුණේ කුමකින්ද යන්න නොව කොයි දෙසින් ද කවුරු විසින් ද යන්න සොයා බැලීම සිංහයාගේ සිරිතයි. නිකරුණේ සටනට ඉදිරිපත් නොවන්නාක් මෙන්ම සාධාරණ සටනකට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය හෝ මරණය යන සීමාවන් දක්වාම සටන් කිරීම සිංහ ගතියකි.
කන්‍යා ලග්නය සඳහා යොදාගෙන ඇත්තේ පාරුවක නැගී පහනක් අතින් ගත් සුරූපී කාන්තාවකි. අධිපති ග්‍රහයා බුධයි. කන්‍යා ලග්න හිමියෝ මානව දයාවෙන් යුක්තය. සංවේදිශීලීය. සෞම්‍ය පෙනුම මෙන්ම චංචල සිතිවිලි ද වේ. ‍පොතපත, ලියකියවිලි හා ශාස්ත්‍රීය අංශයන්ට ප්‍රියකරති. නිතර සතුටු සිතින් කල් ගෙවති. සමාජශීලීය. නිතර ආහාර ගැනීමට ප්‍රිය කරති.
තුලාව සඳහා සංකේතය ලෙස තරාදිය යොදාගෙන තිබේ. ලග්නයට අධිපති සිකුරුය. තුලා ලග්න හිමියා මධ්‍යස්ථ මතධාරියෙකි. සාධාරණය අගය කරයි. අනුන්ගේ දුකෙහිදී කම්පා වෙයි. පරෝපකාරයට කැමැතිය. සරල පැවතුම් ඇතත් අයුක්තියට අසාධාරණයට එරෙහිව කටයුතු කරති.
වෘශ්චික ලග්නය සඳහා ගෝනුස්සා සංකේතය වශයෙන් යොදාගෙන තිබේ. ලග්න අධිපතියා කුජ හෙවත් අඟහරුය. වෘශ්චික ලග්න හිමියා නිහඬ නිසල ජීවිතයක් ප්‍රිය කරයි. කාර්යශූරයි. නොපසුබස්නා වීර්යය පවතී. ගුප්ත දේ පිළිබඳව හැදෑරීමට සෙවීමට ආශා කරයි. අඳුරට ප්‍රියයි. හිතාමතා කිසිවකුට වැරැද්දක්, අගතියක් සිදු නොකරයි. එසේම තමාට කිසිවකුගෙන් එවැනි දෙයක් සිදුවුවහොත් කල්යල් බලා සුදුසු දඬුවම ද ලබා දෙයි. හොඳ මතක ශක්තියක් පවතී.
ධනු ලග්නයේ සංකේතය වශයෙන් යොදා ඇත්තේ ඉදිරිපස කොටස දුන්නක් අතින් ගත් මිනිස් රූපයක් හා පසුපස කොටස අශ්වයකු ලෙස සැදුම්ලත් රූපයකි. අධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පතිය. යුක්තිය සාධාරණය අගය කරයි. ඒ අනුව කටයුතු කරයි. තමන්ට වඩා අන්‍යයන්ට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් ඉදිරිපත් වෙයි. උදේ‍යාගිමත්ය. කාර්යශූරය. දියුණුව පිණිස අන්‍යයන්ට උපදෙස් දීමට සමතෙකි. නිවැරදි පිළිවෙත් හා මානව දයාව පවතී.
මකර ලග්නය සඳහා යොදා ඇත්තේ දිය ගොඩ සතුන්ගේ කොටස් එක්කර මකරා නමින් නිර්මාණය කරන ලද මනඃකල්පිත රූපයකි. ලග්න අධිපතියා ශනි හෙවත් සෙනසුරුය. ගුප්ත ගතිගුණ පවතී. නිසි ලෙස අවබෝධ කර ගැනීම අපහසුය. කෘශ ගතිය වැඩිය. ලෞකික දේවලට වැඩි කැමැත්තක් හා ආශාවක් දක්වයි. අන්‍යයන්ගේ යහගුණ යටපත් කර දුර්ගුණ ඉස්මතු කොට පෙන්වයි. සංවේදීතාවය අඩුය.
කුම්භ ලග්නය සඳහා යොදා ඇති සංකේතය මිනිසෙකු අතින්ගත් හිස් කළයකි. ලග්නයට අධිපතියා ශනි හෙවත් සෙනසුරුය. පරිත්‍යාගශීලීය. නොමසුරුය. ආගම දහමට ළැදිය. ප්‍රතිපත්තිගරුකය. පරෝපකාරයට කැමැතිය. ලබාගැනීමට වඩා දීමට කැමැතිය. සමාජය වෙනුවෙන් දයාව සහ අනුකම්පාව පවතී. රැස් කිරීමට කැමැති නැත.
මීන ලග්නය සඳහා සංකේතය වශයෙන් දෙකෙළවර ගැට ගසන ලද මාළු දෙදෙනකු යොදා තිබේ. ලග්නයට අධිපතියා ගුරු හෙවත් බ්‍රහස්පතිය. මානව දයාව සහ අනුකම්පාව පවතී. ධෛර්යය සහ ඉදිරිපත් වීමේ ගතිය තරමක් අඩුය. සුළු දෙයකින් පවා කම්පාවන ගතිය වැඩිය. ප්‍රතිපත්තිගරුකය. හැකි තරම් වැරදිවලින් ඇත් වී ජීවිතය පවත්වාගෙන යාමට උත්සාහ කරයි.මෙසේ ලග්න දොළහට යොදාගෙන ඇති සංකේත ආශ්‍රයෙන් පුද්ගලයකුගේ ගති ලක්ෂණ හා චරිත ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය හේතු කාරණාවන් ‍ජ්‍යොතිෂ්‍යයේ සඳහන්ව ඇත.
එසේ වුවද කිසි විටෙක කිසියම් පුද්ගලයකුගේ ගති ලක්ෂණ ඔහුට අයත් ලග්න සංකේතයේ ස්වභාවයට සියයට සියයක් සමානයැයි වරදවා තේරුම් නොගත යුතුය. කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් ඔහු හෝ ඇය හැදුණු වැඩුණු පරිසරය, අධ්‍යාපනය, පවුල් පසුබිම, ආගමික පරිසරය ආදී විවිධ හේතුන් අනුව මෙම ලක්ෂණ අඩු වැඩි වීමට හෝ සම්පූර්ණයෙන් වෙනස්ම තත්ත්වයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන බව අවබෝධ කර ගත යුතුවේ.
කෙසේ වුවද මේ සංකේත පිළිබඳව පවතින හොඳ අවබෝධය ‍ජ්‍යොතීර්වේදියකුට පුද්ගලයකු දුර්වලකම්වලින් මුදවා යහපත් දිවි පවෛතකට මගපෙන්වීමට හොඳ අත්වැලක් සපයා දෙයි.



No comments:

Post a Comment