March 14, 2015

ඔබෙත් මතක ශක්තිය හීනද?

අපේ මතකය කොටස් තුනකට බෙදෙයි. ඒ ක්ෂණික මතකය (Immediate memory මෙය working memory ලෙසද දැක්විය හැකිය), කෙටි කාලීන මතකය (Short term memory) සහ දිගුකාලීන මතකය (long term memory) ලෙසිනි. 
ක්ෂණික මතකය අහිමිවීම යනු මේ මොහොතේ දේවල්, එනම් තත්පර ගණනක් ඇතුළත දේවල් අමතක වීමයි. කෙටි කාලීන මතකය අහිමි වීම යන්නෙන් අදහස් කරන්නේ විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වා මතකය ගිලිහී යාමය. මේ කාන්තාවට මේ අංශ දෙකේම දුර්වලතා තිබෙන බව පෙනේ. නමුත් ඇයට දිගුකාලීන මතකය අහිමි නැත. මෙවැනි දෑ සිදුවිය හැකි විවිධ හේතු තිබේ.
  • විශාද රෝගය
අවුරුදු හතළිස් පහක් වැනි වයසකදී මෙසේ වීමට බලපාන එක් හේතුවක් වන්නේ විශාද රෝගයයි. විශාද රෝගය ඇති විට යමක් කෙරෙහි අවධානය තබා ගැනීම අපහසුය. එනිසා ක්ෂණික හා කෙටිකාලීන මතකය දුර්වල වෙයි. විශාද රෝගීන්ට බොහෝ විටම අමතක වීම් බහුල වන්නට හේතුව එයයි. මේ හේතුව නිසා තවත් දුකට පත් වන අතර ඒ අනුව යමක් කෙරෙහි අවධානය තබා ගැනීමේ හැකියාව තවත් දුර්වල වෙයි. ඒ නිසාම ක්ෂණික හා කෙටිකාලීන මතකයද තවදුරටත් හීන වනු ඇත. 
මෙහි ප්‍රතිඵලය වන්නේ එදිනෙදා සියලු කටයුතු සාර්ථකව කර ගැනීමට බාධා ඇති වීමය. එහි ප්‍රතිඵලය ලෙස සිතේ දුක වර්ධනය වී විශාද රෝගයද වැඩි වෙයි. විශාද රෝගය වැඩි වන විට නැවත දුකද වැඩි වන අතර මේ දෙක මාරුවෙන් මාරුවට චක්‍රයක් මෙන් වර්ධනය වෙමින් රෝගියා පීඩාවට පත් කරනු ඇත.
  • මානසික ආතතිය 
අධික කාර්යබහුලතාවය නිසා බොහෝ විටම අප තුළ දැඩි මානසික ආතතියක් (Stress) ඇති වීමට ප්‍රබල හැකියාවක් පවතියි. මානසික ආතතිය නිසා නියමිත පරිදි කාල කළමනාකරණයද කළ නොහැකිවීම, කෙටි කලක් තුළ අධික වැඩ ප්‍රමාණයක් කිරීමට සිදුවීම, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, ගෙදරදොරේ ප්‍රශ්න ආදී බොහෝ ගැටලු සහගත තත්ත්වයන් මතු වන අතර මේ නිසා මානසික ආතතිය තවදුරටත් වැඩි වෙයි. ඒ හේතුවෙන් මානසික ඒකාග්‍රතාවය අහිමි වනු සේම මතක ශක්තියද දුර්වල වෙයි. මෙම තත්ත්වය ව්‍යාජ ඩිමෙන්ෂියාය. (Pseudo Dimentia) විශාද රෝගයට ප්‍රතිකාර කර සුවය ලැබුණු පසු ව්‍යාජ ඩිමෙන්ෂියාවද ඉබේම සුව වනු ඇත.

කෙටිකාලීන මතකය අහිමි වන තවත් හේතු මොළයේ රසායනික වෙනස්කම්, ෙසෙල මියයාම ඇල්ෂයිමර් රෝග තත්ත්වය නිසාද කෙටිකාලීන මතකය අහිමිවේ. නමුත් අවුරුදු හතළිස් පහක් වැනි වයසකදී මේ රෝග තත්ත්වය හට ගැනීම ඉතාමත්ම දුර්වලය. 
එසේම තයිරොක්සින් හෝමෝනය අඩු වීම, විටමින් B12 අඩුවීම නිසාත් මතක ශක්තිය අඩාල වීමට පුළුවන.
මොළයේ රුධිර නාල සිහින් වීම හෝ අවහිර වීම නිසාද මොළයේ ඒ ප්‍රදේශයේ ෙසෙල මියයන අවස්ථා තිබේ. මෙසේ ෙසෙල මියයාම වරින්වර සිදු වුවහොත් කලක් ගත වූ පසු මතක ශක්තිය අඩුවී යා හැකිය. 
ඇතැම් විට මොළයේ ෙසෙල ක්ෂණිකව මිය ගියහොත් කෙටි කලක් තුළ ක්ෂණිකව මතක ශක්තිය අහිමි වීමට පුළුවන. අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි හේතූන් මෙම ෙසෙල මිය යාම කෙරෙහි බලපායි. 
එනිසා මතක ශක්තිය අඩු නම් ඊට නිශ්චිත හේතුව කුමක්ද යන්න වෛද්‍යවරයකු විසින් නියමිත පරීක්ෂණ ආදියෙන් සනාථ කරගත යුතු වෙයි. 
විශාදයට ප්‍රතිකාර ගැනීම තුළින් විශාදය නිසා හටගන්නා අමතක වීමේ තත්ත්වය මගහැර ගැනීමට පුළුවන. එසේම වැඩ කටයුතු නිසි ලෙස සංවිධානය කර ගැනීම කාල කළමනාකරණය, තමා එදිනෙදා කළ යුතු කටයුතු පිළිබඳව සටහන් තබා ගැනීම, හදිසි වැඩ පළමුව කිරීම වැනි කෙටිකාලීන පියවර තුළින්ද ආතතිය හා විශාදය ඇතිවීම වළක්වා ගත හැකිය. 
විවිධ හේතු මත ඇති වන ඩිමෙන්ෂියා තත්ත්වය පවතී නම් ඊට බලපාන හේතු වෛද්‍ය පරීක්ෂණ මගින් සොයා ගත හැකිය. 
මේ ආකාරයට මතක ශක්තිය හීනවීමට අදාළ හේතු නිවැරදිව අනාවරණය කර ගෙන ඊට පිළියම් හා ප්‍රතිකාර යෙදිය යුතුය. එමගින් මෙය වළක්වා ගත හැකි තත්ත්වයක් මත ඇති වූවක් නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමෙන් යථා තත්ත්වයට පත් කර ගත හැකිවේ.

No comments:

Post a Comment