December 14, 2014

ජාත්‍යන්තර එක්දින පිටියේ ද්විත්ව ශතක

පන්දුවාර පනහේ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකදී පිතිකරුවකු පෞද්ගලිකව ලකුණු 200ක් ලබා ගැනීම අතීතයේ දුර්ලභම සිදුවීමකි. එහෙත් වර්තමානයේ මෙය එතරම් අපහසු දෙයක් නොවන බවට පත් වී හමාරය. ගෙවී ගිය වසර පහක කාලයේදී ජාත්‍යන්තර එක්දින පිටියේ ද්විත්ව ශතක හතරක්ම වාර්තා වූ අතර ඒ සියල්ලම ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් වීම විශේෂත්වයකි. නමින් ඔවුන් හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග් හා වර්තමාන ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාය. මෙම ද්විත්ව ශතක හතරින් දෙකකම හිමිකරුවා රෝහිත් ෂර්මාය.

මෙහි ඇති සුවිශේෂම කාරණය වී ඇත්තේ මේ පිතිකරුවන් තිදෙනාම ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ මෙම දස්කම් කර තිබිම හා ද්විත්ව ශතක හතරම ඉන්දියානු බිමේදී වාර්තා වීමත්ය.
මෙම දුර්ලභ කඩඉමේ ප්‍රථම හිමිකරුවා සචින් තෙන්දුල්කාර් වන අතර ඔහු මෙම දස්කම පෑවේ 2010 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ග්වාලිඕර්හිදීය. ඉන් වසර 1 1/2කට පසු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් ද මෙම කඩඉමට ළඟා වූ අතර ඒ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉන්දෝර් හි පැවැති තරගයකදීය. එහිදී විරේන්ද්‍ර ෂෙවාග් ලබාගත් ලකුණු සංඛ්‍යාව 219කි. ඉන් වසර 02කට පසු රෝහිත් ෂර්මා මෙම කඩඉමට ප්‍රථම වරට ළඟා වූ අතර ඒ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව බැංගලෝරයේ පැවැති එක්දින තරගයකදීය. ඉන් වසරකට පසු රෝහිත් ෂර්මා විසින්ම නැවත වරක් ද්විත්ව ශතකයක් ලබා ගත් අතර ඒ සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කල්කටාවේ, ඊඩ්න් ගාඩ්න් පිටියේදීය. එම, තරගයේ අවසන් පන්දුවේ ෂර්මා දැවී යන විට පන්දු 173කදී ලකුණු 264 ක් ලබා සිටියේය.
සචින්, විරේන්ද්‍ර හා රෝහිත්ගේ මේ ද්විත්ව ශතක සංඛ්‍යානමය වශයෙන් විශ්‍ලේෂණය කරද්දී වඩාත්ම ප්‍රවේගකාරී පිතිකරුවා වී ඇත්තේ රෝහිත් ෂර්මාය. තවමත් විසිහත්වැනි වියේ පසුවන ෂර්මාගේ ප්‍රථම ද්විත්ව ශතකයට (209)ට ඔහු හයේ පහරවල් 16ක් එල්ල කර තිබූ අතර දෙවැනි ද්විත්ව ශතකයට හයේ පහරවල් 9ක් හා හතරේ පහර 33ක් අන්තර්ගත කොට තිබුණි. එහෙත් සචින් හා ෂෙවාග් සිය ද්විත්ව ශතක සඳහා එල්ලකර තිබුණේ හයේ පහරවල් 3ක් හා 07 වශයෙනි.

උපුටාගැනීම >>> රුක්මල් විතානගේ

No comments:

Post a Comment