July 7, 2015

ආදරය ගැන හුඟ දෙනෙක් හිතන විදිහ හරිද?

ආදරේ කරන්න පටන් ගත්තහම ඕනම කෙනෙක්ගේ හිතේ මොකක්දෝ අමුතුම ආකාරයේ හැඟීමක් ඇති වෙනවා. කොච්චර කොළේ වහලා ඉන්න ට්‍රයි කළත් ඒක නම් ඉතින් හංගන්න බෑ... කොහෙන් කොහෙන් හරි ආදර හැඟුම් කලඑළි බහිනවා... මොකක්ද ඇත්තටම ඔය අර මුලින් කියපු අමුතුම ආකාරයේ හැඟීම ඕනම පුද්ගලයෙක් ආදරවන්තයෙක් බවට පත්වෙන කොට ඒවන තුරු තමන් තුළ රැඳිලා තිබුණු බලා‍පොරොත්තු රහිත බව ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා යන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ... දැන් ඉතින් දුකේදීත් සැපේදීත් ළඟින් ඉන්න, හිතවතෙක් එහෙමත් නැත්නම් හිතවතියක් ඉන්නවානෙ කියලත් හිතෙනවා. හිත බලා‍පොරොත්තු ප්‍රාර්ථනාවලින් පිරෙන කොට යමක් දිහාව කිසියම් සුන්දරත්වයකින් යුතුව බලන්නත් මග පෑදෙනවා. ඉස්සර වැඩ ඇරිලා තනියම ගෙදර යනකොට අඩුගානෙ වැහි වලාකුළක්වත් තියෙනවාද කියලා අහස දිහාව නොබලපු කට්ටිය ජෝඩු දාලා ගෙදර යනකොට...අනේ බලන්නකො අහස දිහාව අද හරිම ලස්සනයි කියලා කියන වෙලාවලුත් තියෙනවා. ඔයා අකමැති වෙයි කියලා හිතලා මං අද අර තද නිල් පාට සාරිය අඳින්නත් හදලා ඇන්දෙ නෑ.., කොළ පාටට වැඩිය ආසයි කියලා මතකද දවසක් ඔයා මට කිව්වා... මං ඒකමයි මේෂර්ට් එක ගත්තේ... ඔන්න ඔය විදියට කරන කියන දේවලින් එයා තමන්ගෙ සිතැඟි තේරුම් ගන්න බවක් පැහැදිලිවම පේනකොට හිතට අමුතුම ගතියක් දැනෙන්න පටන් ගන්නවා.