April 8, 2015

කේන්තිය පාලනය කරමු

කේන්ති යාම යනු ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ‍පොදුවේ සිදුවන දෙයකි. එසේ වුවද කේන්තිය පාලනය කර ගැනීමේ හැකියාව අතින් එක් එක් පුද්ගලයන් විවිධත්වයෙන් යුක්ත වේ. සමහරුන් තම හිතට එන කේන්තිය ක්ෂණිකව පිට කිරීම සඳහා අතට හසුවන දෙයක් ‍පොළොවේ ගසන්නට පෙළඹේ. තවත් අය සිය කේන්තිය පාලනය කර ගන්නේ තමාටම රිඳවා ගැනීමෙනි. කොපමණ කේන්තියක් තිබුණද එය පිට නොකර නිශ්ශබ්දව සිටින අයද ඕනෑ තරම් සිටිති. එසේ වුවද වැඩියෙන් තරහ නොයන කෙනෙකුට එකවර දරුණු කේන්තියක් ඇති වූ විට එම පුද්ගලයාගේ හැසිරීම ඉතා භයානක විය හැකිය. යමෙකුට එකවර කේන්ති ගිය විට එය පාලනය කරගත හැකි ආකාර කීපයක් පිළිබඳව මනෝ විද්‍යාඥයන් විසින් ‍පොදු උපදෙස් මාලාවක් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට කේන්ති යාම සඳහා හේතුවන ‍පොදු කරුණු කීපයක් තිබේ. අධික වෙහෙස, ආතතිය, හිතේ හෝ සිරුරේ වේදනාව, දුක ආදී කරුණු ප්‍රබලව ඊට හේතුවේ. මෙවැනි හේතු නිසා ඇතිවන කේන්තිය පාලනය කර ගත හැකි ආකාර ද කීපයකි.